Thursday, November 30, 2017

වෘක හාමිගේ සාදය හෙවත් Big Bad වැනුම


         වෘක හාමිගේ සාදය කියන්නේ අපුරු ළමා කතා පොතක්. බ්ලොග් ලියන කියවන අපේ කුඩා දරුවන්ට හොයාගෙන කියවන්න ඉතාමත් හොඳ පොතක්. කපටි හිවලෙක් ගැන කතාවක්. 

        පොත් කතා බහ ඉවර වෙලා, ගත්තු පොත් දිහා හැරිලාවත් බලන්න වෙලාවක් නැතිව ඉන්න එකේ ඔන්න ඔහේ වෘකයා ගැන වත් ලියල දාන්න හිතුවා. පහුගිය පෝස්ට් එකත් ටිකක් දිගට ලියවෙච්ච හින්දා මේක නම් කෙටියෙන් ඉවර කරලා දානවා. කියවන අය ගැනත් හිතන්න එපෑ... අපිට ලියන්න අදහස් ගලාගෙන ආවට ඔය ඔක්කොම ලියන එක හරි නෑනේ... පුළුවන් තරම් කපල, කොටලා, අඩු කරලා තමයි මේක නම් ලියන්නේ.

    කතන්දරේ මේකයි. පහුගිය මාසේ ලංකාවට ආවනේ Big Bad Wolf පොත් ප්‍රදර්ශනේ. ඕක ගැන නොදන්නා කෙනෙක් ඉන්න විදියක් නෑ. ඕක මහජනතාවට විවෘත කරපු පලවෙනි දවසේ උදේ පාන්දර දවල් දෙකට විතර මම ඉතින් ගියා. පොත් ගැනීම කොහොම වෙතත් මොනවාද තියෙන්නේ කියල බලන්න තමයි ගියේ. කලින් මාසේ BMICH එකෙන් පොත් ටිකක් ගත්ත හින්ද පොත් ගැනීමේ ලොකු ආසාවක් තිබුනේ නෑ. යුතුකමක් වශයෙන් ගියේ.  පොත් දෙක තුනක් නම් ඔලුවේ තිබුනා තිබුනොත් ගන්නවා කියල. එච්චරයි. මම ඉතින් ගිහින් ඔන්න වටයක් ඇවිදලා බැලුවා. සුපුරුදු විදියට පිස්සු හැදෙන පොත් ගොඩාක් තිබුනට මම හොයපු ඒවා තිබුනේ නෑ. මම බැලුවේ Dan Brown ගේ හරි Michael Crichton ගේ හරි පොත්. පොත් කිහිපයක් තිබුනත් ඒවා මම හොයපු ඒවා නෙවෙයි. තිබුන ඒවත් අර අඩු වියදමට ගහපු පොඩි පොත් මිසක්, ගණ කවරේ තියෙන සිරා පොත් නෙවෙයි. ඉතින් මට ගන්න හිතුනේ නෑ.

       පොත් ගොඩවල් අතර ඇවිද ඇවිද අතපත ගගා ගියාට හිතට වදින පොතක් සෙට් වුනේ නෑ... ගන්න නිකමට හරි ආස හිතුනේ අර මාවල්,DC වගේ ග්‍රැෆික් නවල් තමා. අනිත් එක අර Assassin Creed, Hobbit වගේ ගේම් සහ ෆිල්ම් වල චරිත වල චිත්‍ර තිබුණු පොත්, ඊට පස්සේ ඔය තිබ්බ අටෝරාසියක් වෙච්ච සඟරා නම් ගන්න හිතුනා.  හැබැයි ඉතින් ශ්‍රී ලංකාවට ඇවිල්ල නිකන් ඉන්න බැරුවට පටන් ගත්ත ගේ හැදිල්ල හින්ද ඔය මැගසින් වල ගණන් බලපුවහම් සිමෙන්ති කොට්ට, යකඩ කම්බි මැවිලා පෙන්න ගත්තා. ඔන්න Assassin Creed පොත 1500ක් වුනා කියමු, සිමෙන්ති කොට්ට එකයි, 10 කම්බියයි,  3000-4000ක මැගසින් එකක් ගන්න කියල අතපත ගාද්දී ඉතින් කළු ගල් කියුබ් එකක් තමා මැගසින් එක වෙනුවට පෙන්න ගත්තේ.. ඒ දවස් වල ගෙදර අත්තිවාරම දදා හිටපු හින්දා තමා ඔය සිමෙන්ති, කළුගල්, යකඩ කම්බි පෙන්න ගත්තේ. මේ දවස් වල ඕක තිබ්බ නම් කොන්ක්‍රීට් ගල්, ගඩොල් වලින් පෙන්න තිබ්බා. 

කොහොම හරි ඉතින් ඔන්න එදා එක පොතක් වත් ගන්නේ නැතුව ආවා. 

        බාස්ල වැඩ අතරේ මම ෆෙස්බුකියෙන් ලෝකේ බලනකොට පේන්නෙම කට්ටිය ඕකට ගිහිල්ල ගත්තු පොත් ගොඩවල් තමා. කොච්චර වුනත් ආයේ අලුතින් පොත් දාලද දන්නේ නෑ කොයි එකටත් ආයේ ගිහින් බලන්න ඕනේ කියල ඔන්න ආයේ සැරයක් ගියා. 

        යකඩෝ මොන රෙද්දක් ද ගෙයක් හැදුවා කියල  මෙහෙම ඉන්න පුළුවන් ද අද නම් පොතක් ගන්නවාමයි කියල හිතාගෙන එදා ගියේ.

     එදා හෝල් එක ඇතුලට  යන්න කලින් හොඳවයින් උණු බල්ලෙක් කාලා, බීම බෝතලයක් බිලා එහෙම තමා ගියේ දෙන්නම් බැටේ කියල. ඔන්න ඉතින් ගියා අර සාහිත්‍ය පොත පත තිබ්බ මේස කෑල්ල හොයාගෙන. හය්යෝ සංසාරේ මම දන්නා කියන කාගේවත් පොතක් තිබුනේ නෑ.. Jack London ගේ White Fang එකයි. Call of the wind එකයි තිබ්බා හැබැයි පොඩි පොත්. මට ඕනේ වෙච්ච විදියේ පොත් තිබුනේ නෑ. අලුතින් පොත් දැම්ම කිව්වට මට කිසි අලුත් ගතියක් දැනුනේ නෑ.

    මැලේසියාවේ ඉද්දි ඔය වෘකයාගෙන්ම ගත්ත නම නොදන්නා ලේඛකයින් ගේ පොත් පෙට්ටි පුරෝලා ගෙදර තිබ්බ හින්දා තව ඒවගේ පොත් ගන්න මට කොහොමත් ආසාවක් තිබුනේ නෑ. ඒවා කියවලත් නැති එකේ තව මොකට ගන්නවද කියල තමා හිතුනේ.. එදත් ඉතින් අර ග්‍රැෆික් නවල් ටිකයි, මැගසින් ටිකයි පෙරලලා බලල  සිමෙන්ති කොට්ට, යකඩ කම්බි පොඩ්ඩක් යටපත් කරගෙන වැඩි දුරටත් ඇවිදලා බැලුවා මොකක් හරි ගන්න. ම්හු...

කොහොම හරි ඉතින් එදත් එකක් වත් ගන්නේ නැතුව එලියට බැස්සා.  සංසාරේ කිව්වලු. 

   ඉතින් දැන් ඔන්න ඔහොම කාලේ ගෙවිලා වෘකයා ලංකාවෙන් යන දවසත් උදා වුනා. අඩේ අප්පා, මැලේසියාවේ ජිවිතේ ආතල් ජනක දේවල් වලින් ආතල්ම එකක් වෙච්ච Big Bad Wolf ආපහු යනවා නේද.. මම එක පොතක් වත් ගත්තේ  නෑනේද.. ලංකාවට ආපු එක මතක්වෙන්න යුතුකමක් වශයෙන් වත් එකක් ගන්න ඕනේ නේද.... කියල අන්තිම දවසේ අන්තිම වතාවට කියල තව පාරක් ගියා.

     දැන් මේක කියවන අයට හිතෙයි මම පැත්ත පළාතේ යන්නේ නැතිව මේ නිකන් බයිලා ගහනවා කියල.  මේ තියෙන්නේ සාක්ෂි


පේනවනේ. අපි වෙන මොනවා ගැහුවත් බයිලා ගහන්නේ නෑ...


 ඔය තියෙන්නේ ක්ලෝස් අප් එකකුත්. මෙතනම පට්ට පොත් බර ගානක් තියෙනවනේ බොලේ. ඇයි මම ගත්තේ නැත්තේ..  එදා කන්නාඩි දෙක නොදා ද මන්ද ගිහින් තියෙන්නේ..


        අන්තිම දවසේ හවස, බට්ටි නගාටත් කියල අඩුම තරමේ එතුමිය කැමති පොතක් වත් අරන් එන්නම් කියල හිතාගෙන, මොකුත්ම නැති වුනත් කවද හරි  international best seller පොතක් ලියන්න ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න ඉංග්‍රීසි ව්‍යාකරණ පොතක් වත් ගන්නවා කියල හිතාගෙන ඔන්න 3 වෙනි වතාවටත් ගියා.

       අපරාදේ කියන්න බෑ ඒ වෙද්දී අර සාහිත්‍ය හෙවත් literature කැටගරියේ තිබ්බ මේසේ අතුරු දහන් වෙලා. Young Adults මේස ටිකකුයි පොඩි ළමයින් ගේ පොත පත පිරිච්ච මේස ගොඩකුයි නම් තිබ්බා. ග්‍රැෆික් නවල් සහ මැගසින් නම් ඉතිරි වෙලා තිබුනට කලින් තිබ්බ හොඳ ඒවා ගොඩක් ඉවර වෙලා. Assassin Creed චිත්‍ර පොත හෙව්වට ඒක තිබුනෙත් නෑ.. බට්ටි නගා හොයන ජාතියේ පොත් තිබුනට ඒවා යේ අභ්‍යන්තරය ඒ හැටි ගත යුත්තක් නෑ කියල හිතුනා. ඒ ලේඛකයින් ගේ වඩා හොඳ පොත් තියෙන නිසා ඉතිරි වෙච්ච පොත් ගන්න එක තේරුමක් නෑ කියල හිතුනා. හැබැයි ඒත් මොකක් හරි පොතක් ගන්න ඕනේ නේද කියල තිබිච්ච පොත් ගොඩවල් එකක් නෑර පීරලා බැලුවට මගේ හිතට වැදිලා, මේක නම් ගන්න ඕනේ කියල, සිමෙන්ති කොට්ට , යකඩ කම්බි, කළුගල් පසාරු කරගෙන මතු වෙලා එන්න පුළුවන් කමක් තිබ්බ කිසිම පොතක් මට හම්බ වුනේ නෑ..  හරිම කනගාටු දායක තත්වයක් ඒ වෙද්දී උදා වුනේ. මෙච්චර පොත් තිබිලා එකක් වත් සෙට් වෙන්නේ නැති හැටි කියල බොහොම විස්සෝපෙන් මම හිටියේ.

        ඔහොම ඉතින් පැයක් 2ක්  කැරකෙද්දී ටික ටික මටම මේ පොත් හෙවිල්ල එපා වෙන්න ගත්තා. යුතුකමට ගන්න කියල ආවත් හිතට හරි යන එකක් නැතුව කොහොමද කියල මම දැන් 4 වටේ කල්පනා කර කර එතන හිටපු චීන ගෑනු ළමයි දිහා බල බල අතීත මැලේසියන් මතක සිහි කර කර හිටිය. ඔහොම ඉන්නකොට එක පාරටම මට 'Aha!' අදහසක් ආවා.

        ලෝකේ තියෙන විශාලම පොත් ප්‍රදර්ශනෙකට දවස් තුනක් ගිහින් එක පොතක් වත් ගන්නේ නැතුව ඉන්න කොට දැනෙන  ආතල් එක ගන්න මේක හොඳ අවස්තාවක් කියල මට ඒ වෙලාවේ මේ 'Aha!' අදහස මතක් කරලා දුන්නා. ඒ වගේ අපුරු අදහසක් ආපු වෙලාවට ආයේ තවත් හිතන්න දෙයක් නෑනේ කියල මම ඒ වෙලාවේ අත පත ගගා හිටපු පොත් ටිකත් එහෙමම දාල ජයග්‍රාහි 3 වෙනි වතාවටත්  හිස් අතින් ගෙදර ගියා.

       මේ ලෝකේ ඔන්න ඔහොම දේවලුත් මිනිස්සුන්ට වෙනවා. ඉතින් ඔයාලට ඔය වෙන දේවල් ඒ හැටි ගණන් ගන්න හොඳ නෑ.. පාන් කෑල්ලක් කාල තන්තෝසෙන් ඉන්න පුරුදු වෙන්න ඕනේ. 


Thursday, November 23, 2017

වචන දහස



ඔන්න මහන්සි බලන්නේ නැතුව වචන 1014ක් ම ලිව්වා. ඔය මදැයි මේ මාසෙට.