Monday, November 21, 2016

ඔරිජිනල් අපි


හරිම සංකීර්ණ තත්වයක්. කොච්චර ට්‍රයි කලත්  ගොඩ දා ගන්න බැරි තරමට ම  තත්වය දරුණු වෙලා. වෙච්ච සිද්දිය මම කෙටියෙන් කියන්නම්කො..

ඔන්න මම බොහොම පාඩුවේ අහිංසක ළමයා වගේ අම්මයි තාත්තයි කියන දෙයක් අහගෙන ඉස්කෝලේ ටීචර් ල සර් ලා කියන දෙයක් අහගෙන අවුරුදු 10-12ක් ගෙවල දැම්මා.. ඒ කාලේ මට ඔය "මගෙන්" ඒ හැටි කරදරයක් තිබුනේ නෑ.. මට ඕනේ නම් සෙල්ලම් කළා, ඕනේ නම් කාටුන් බැලුවා, ඕනේ නම් චිත්‍රයක් ඇන්දා, පොතක් පත්තරයක් කියෙව්වා,  සිංදුවක් කිව්වා.. දෙන දෙයක් කාලා  ඔහේ හිටියා. ලෙඩක් දුකක් හැදුනම අම්මයි තාත්තයි බලා ගත්ත.  ඒ හැටි අවුලක් තිබුනේ නෑ.. කොටින් ම කිසි මට මම ගැන කිසිම හැඟීමක් වත් තිබුනේ නෑ... ඔය ඉස්කෝලේ කොල්ලෝ එක්ක තිබ්බ පොඩි පොඩි වලි, ඊට පස්සේ ඔය එක පුංචි කෙල්ලෙක් ගැන හිතේ පොඩිම පොඩි මෙව්වා එකක් වගේ එකක් තිබුනා වගේ දේවල් ඇරුනම කිසිම ලොකු ප්‍රශ්නයක් තිබුනේ නෑ.. ගෙදරදී තිබ්බ ලොකුම ප්‍රශ්නේ අක්කත් එක්ක ටි වී බලන එක.. ඒ යකා මට වැඩිය අම්බානක් වයස වීම මට මල වදයක් වෙලා තිබුනේ..මට ඕනේ කාටුන් එකක් බලන්න විදියක් නෑ...  හැබැයි ඉතින් අනිත් අතින් ඒ දවස් වල සබ්ටයිටල් දාපු ඉංග්‍රීසි කතා වල සබ්ටයිටල් ටික මට කියවල දීලා උදව් එහෙම කරන හින්ද මට වැඩිය අක්කට විරුද්ද වෙන්න විදියක් තිබුනෙත් නෑ.. 

කොහොම හරි අවුරුදු 15-16 වගේ වෙද්දී ඔන්න ඉතින් ටික ටික මේ "මම" මට වද දෙන්න පටන් ගත්තා.. එක එක විභාගයි, ඔය ගෑනු ළමයි ගැන ප්‍රශ්නයි, ලොකු වුනාම මොනවාද කරන්නේ කියන ඒවයි අනම් මනම් හැටක් විතර ටික ටික ඔළුවට දාන්න  ගත්තා.. කොටින් ම පොඩි කාලේදී හිතන් ඉන්න "මම ලොකු වුනාම මෙන්න මෙහෙම වෙනවා කියන එක" පොඩ්ඩක් විතර විහිළු සහගත දෙයක් නේද ඔය කිව්වට ඕවා කරන්න ලේසි නෑ වගේ එකක් ටික ටික ඔළුවට දැම්ම.. ඒ අස්සේ මේ හොර්මොනත් පිස්සු කෙලින්න ගත්තම වැඩේ තවත් බරපතල වුණා. හැබැයි ඉතින් මොන දේටත් ඒ අම්මයි තාත්තයි හිටපු නිසා ලොකු අවුලක් වුනේ නෑ..

අම්මයි තාත්තයි එක්ක කියන්න බැරි වෙලා තිබ්බ එකම දේ වෙච්ච ඔය කෙල්ලන්ගේ හුට පට ටිකත් යාලුවෝ මාර්ගයෙන් පොඩ්ඩක් ශේප් කර ගත්තා.. හැබැයි මට අපේ නංගිගෙන් ඒ දවස් වල ඒ සබ්ජෙක්ට් එකට ෆුල්ම සපෝර්ට් එකක් තිබුනේ. නංගිගෙයි මගෙයි වයස ගැප් එක අවුරුදු 2ක් විතර නිසා දෙන්නම එකම වගේ.. අපි දෙන්න අතර රහස් නෑ. යාලු පිට් එක තමයි තිබුනේ. ගානට වැඩේ කරගෙන යන්න ෆුල් සපෝර්ට් එක දුන්නා. 

වැඩිය චාටර් එකක් නැතිව 18ට පන්න ගත්තා කියමුකෝ. අපරාදේ කියන්න බෑ හෝර්මෝන අවුල් වලටත් ඒ දවස් වල වීඩියෝ සෙන්ටර් වල හිටපු අයියල ගාව බෙහෙත් තිබුනා.. ඉතින් එකත් මහ ලොකු අවුලක් වුනේ නෑ.. අනිත් එක "අඩෝ වරෙන් $%$%^"  කියපු ගමන් බයිසිකල් කටුවක නැගල කඩාගෙන බිඳගෙන එන්න යාලුවෝ කීප දෙනෙක් හිටපු හින්ද ඒ සම්බන්ද ප්‍රශ්න ඒ ඒ වෙලාවල් වලදීම විසඳගන්න පුළුවන් වුණා.. 

හැබැයි ඔන්න ඔය කාලේදී "මම" බලවත් වෙලා හිටියේ.. මට "මම" කියන දේ අහන්න සිද්ද වුණා අනිත් අය කියන දේට වඩා.. කොටින් ම මට තේරුනා මට හරියටම හරි යන දේ මේ "මම" මට කියනවා නේද කියල. කොටින්ම ඒ දවස් වල අනිත් හැමෝටම ඕනේ වුනේ විභාගේ හොඳට පාස් වෙලා කැම්පස් යන්න. මටත් එහෙම ඕනේ වුනාට මේ "මම" දවසක් මට තේරුම් කරලා දුන්න උඹට ඕක හරි යන මගුලක් නෙවෙයි උඹ උඹ කැමති දේ උඹට ඕනේ විදියට කරපන්. අනිත් අය ඒ අයගේ විදියට කර ගනියි කියල.. අන්න එදා එදා ඉඳන් මම මේ "මම" කියන දේ විශ්වාස කරන්න පටන් ගත්තා. 

කොටින් ම අවුරුදු 18 විතර ඉඳල අවුරුදු 23 වගේ වෙනකම් මගේ "මම" උපරිම බලවත් වෙලා තිබුනේ. ඒ කාලේ මට ඕනේ දෙයක් කිරීමේ හැකියාව තිබුනා. හිත අලුත් අදහස් වලින් පිරිලා තිබුනා, තිබුන සීමිත දේවල් වලින් බොහෝ දේවල් කර ගත්තා. ගම, ගමේ මිනිසුන්, නගරය,  ප්‍රේමයේ චමත්කාරය, වේදනාව, මිතුරු කම්, ගැහැණු ළමයි, කවි,  කතා, නිසදැස්, චිත්‍ර, පරිගණක වැඩ ඕනේ එකක්. හැමදේම සුන්දරයි.. හිතන සැනින් අදහස් ගලාගෙන එන අපුරු කාලයක්. අනුන් වෙනුවෙන් අපේ කාලය,  අනුන්ගේ වැඩ, සල්ලි වලට සතපහක අගයක් දුන්නේ නෑ. පරිසරය ගහකොළ හරිම අපුරුවට පෙනුනා.  ලෝකයම දිනන ශක්තියක් ඇඟේ තිබුනා. 

ඔය කාලයෙන් මම නෙලා ගත් අග්‍ර ඵලය තමයි මට ලියන්න හැකියාවක් තියෙනවා කියන එක තේරුම් ගැනීම. ඒ හැකියාවේ එක ඉමක් දක්වා "මම" මාව ගෙනිච්චා. 

ජිවිතයේ කිසි දෙයක් ස්ථිර නෑ කියන එක නැවතත් පසක් කරමින් සිදුවූ තාත්තාගේ වියෝව නිසා කඩා වැටුණු ජිවිතයට මුහුණ දෙන්න, ඒ ජීවිතය යලි ගොඩ නගන්න මට "මම" සෑහෙන පිහිට වුණා. අන්තිමේදී තමන්ට පිහිට තමන් තුල ඉන්න "මම" විතරක් කියන එක මට හොඳටම තේරුම් ගියා.  අවසානයේ ප්‍රිය විප්පයෝගයෙන්  දැනුන මහා දුකේ හේතුවත් මා තුල ඉන්න "මම" කියල තේරුම් ගැනීම දක්වාත් ඒ "මම" මාත් එක්ක හිටියා.

සියල්ල උඩු යටිකුරු වෙන්න ගත්තේ අවුරුදු 23 දී පළවෙනි රස්සාවට ගියාට පස්සේ. එතනදී මට "මම" කියන දේ අහන්න විදියක් තිබුනේ නෑ. මොකද රස්සාව කරන්න ඕනේ වුනේ අනුන්ට ඕනේ විදියට. අනුන්ට ඕනේ විදියට වැඩ කලාම ඒ අනුන් මට සල්ලි දුන්න. මුල් කාලේදී හරි ජොලි. මොකද මට ඕනේ වෙච්ච දේවල් "මම" මට පැහැදිලි කරලා දුන්නට ඒවා කරන්න ඕනේ කරන සල්ලි බාගේ දුන්නේ අනුන් නිසා මේ අනුන්ට වැඩ කිරීම වාසි දායක දෙයක් වුණා. මුල් කාලේදී මම සහ "මම" බොහොම සතුටින් හිටියා. හැබැයි ටික ටික "මම"  මට අවවාද  කළා උඹ ට උඹ නැති වෙන්න යන්නේ පරිස්සමින් හිටපන් කියල. මම ඒවා ඒ හැටි ගණන් ගත්තේ නෑ.. 

ටිකෙන් ටික කාලය ගත වුණා. අනුන් මගේ ඔළුවට විවිධ දේවල් පුරවන්න පටන් ගත්තා. ඒ පුරවපු දේවල් වලින් සල්ලි හම්බ කරන විදියත් අනුන් මට කියල දුන්න. බොහෝ අලුත් මිනිසුන් , අලුත් කෙල්ලන්, අලුත් ප්‍රේමයන්, අලුත් වේදනාවන් හමු වුණා. ඒ හැම දේම ලෞකික සහ සමාජීය කියන සාධක දෙක ඇතුලෙම දිය වෙලා ගියා මිසක් ඒ කිසි දේකින් අලුත් දෙයක් හිතන්න ඕනේ කමක් මට තිබුනේ නෑ. මා තුල හිටපු "මම" ටිකෙන් ටික අක්‍රිය වෙන්න පටන් ගන්න බවක් දැනුනත් භෞතික සාධක නිසා මම ඒ හැටි ඒක ගණන් ගත්තේ නෑ.. 

රස්සාවන් මාරු වුණා. ජීවිතය වෙනස් වුණා. මා තුල හිටපු "මම" වෙනුවෙන් මෙලොව ඉපදුනු මගේ අනිත් "මම" හමු වුණා බොහොම අපුරු විදියට. ජීවිතය අලුත් වුණා. "මම" සතුටු වුණා. මින්පසු ජීවිතය ඇය වෙනුවෙන් ජිවත් වීමට පටන් ගත්තා. හැමදේම හොඳින් සිද්ද වුණා. මම සතුටු වුණා හැබැයි ටිකෙන් ටික මට "මාව" අමතක වෙන්න පටන් ගත්තා.

රස්සාව වෙනස් වුණා. ජිවත් වෙචච පරිසරය වෙනස් වුණා. මා තුල හිටි "මම" සැරෙන් සැරේ සියුම් ලෙස අවදි වුනත් මට ඒ ගැන වැඩි අවදානයක් යොදන්න බැරි වුණා. 

අපි තාවකාලිකව රට මාරු කළා. බොහෝ අලුත් දේ ලැබුනා. අලුත් ජිවිතයක්, අලුත් පරිසරයක්,අලුත් සමාජයක්, අලුත් මිතුරන්, හැමදේම සැපවත් වුණා. හැමදේම හොඳින් සිද්ද වෙනකොට කොහේ හෝ තැනකින් ඒ හොඳ වෙනුවෙන් යම් මිලක් ගෙවන්නත් සිද්ද වුණා. ජිවිතයේ හැම සැපක් පසු පසම ගොනා පසු පස එන කරත්ත රෝදය වගේ යම් දුකකුත් එන බව මනාව පසක් කරමින් ඒ සැප සමග අපි යාන්ත්‍රික , ඒකාකාරී ජිවිත රාමුවක් ඇතුලේ හිර වුණා.

හැබැයි සුව දායි ජීවිතය නිසා ඒ රාමුවේ ඇති පීඩාකාරී බව එතරම් දැනුනේ නෑ. හැබැයි මට "මම" ජිවිතයේ කියා දුන්නු වැදගත්ම පාඩම වෙච්ච මට ඕනේ විදියට ජිවත් වීමේ ක්‍රමය ටිකෙන් ටික අහිමි වුණා. මොකද දවසේ හොඳම කාලය යාන්ත්‍රිකව වැඩ කරන මිනිසුන් පිරිසක් සමග වැඩ කිරීමටත් , ඉතිරි කොට ඒ වැඩ කිරීමේ වෙහෙස නිවීමටත් ගෙවා දමන්නට වූ නිසා මම සහ "මම" හමු නොවී ජිවත් වීමට සිද්ද වුණා. නමුත් පැය විසි හතරම ඇය මා සමග සිටීම නිසා මට "මම" නොමැති අඩුව එතරම් දැනුනේ නෑ.

අනුන් වෙනුවෙන් වැඩ කිරීම නිසා අනුන් විසින් ඔළුවට පුරවන දේවල් වලින් ටිකෙන් ටික වැසි ගිය "මම" විටෙන් විට අමාරුවෙන් මතු වී ආවත් වැඩි කාලයක් මා සමග රැඳී සිටිමට "මට" නොහැකි වුණා. 

හිත පුරා ගලා ගිය නිදහස් අදහස් ටිකෙන් ටික යාන්ත්‍රික වෙලා නැති වෙලා ගිහින්. බොහෝ වෙලාවට එලියට එන අදහස් කුමක් හෝ භෞතික සාධකයක් මුලික කරගෙන එන දෙයක් මිස නිවහල් නිදහස් අදහස් නොවන බව මට වැටහෙන්න පටන් ගත්තා. 

මගේ ජීවිතයත් අනුන්ගේ ජිවිතත් සැපවත් කිරීමේ මිල විදියට මට මා තුල සිටි ඔර්ජිනල් "මම" කැප කරන්නට සිදු වී ඇති බව ටිකෙන් ටික වැටහුනා. 

අනුන් වෙනුවෙන් මුදල් පතා වැඩ කිරීම අපව සම්පුර්ණයෙන් ම රාමු  ගත කරපු, විකෘති චරිත බවට පත් කරන ආකාරය දැන් මට මැනවින් පසක් වෙලා. ඒ සියල්ලට ගත වුනේ අවුරුදු 12ක් විතර. 

දශකයක් රස්සාව කරන කොට අපි වෙනස් වෙන විදිය හරිම පුදුමයි. ඒ වෙනස නරක දෙයක් නෙවෙයි. හැබැයි ඒක අපේ ඔරිජිනල් ජීවිතය නෙවෙයි. අනුන් විසින් ප්ලෑන් කරපු ජිවිතයක් අස්සේ අපි හිර වෙනවා. ඒ ජිවිතයේ සැප තියෙනවා. හැබැයි ඒ සැප ඇතුලේ මහා දුකකුත් තියෙනවා. ඒ දුක සැරෙන් සැරේ අපිට දැනුනත් ලැබෙන සැප නිසා අපි ඒ දුක නොසලකා හරිනවා. 

පුංචි සියුම් දේවල් වල තියෙන රසය විඳීම අපිට දැන් අමතක වෙලා. ඒ රසය විඳීමේ අරුත අපි හොයන්න පටන් අරන්. අරුත හොයන්න ගිහින් අපිට රස විඳීම අමතක වෙලා.

අපි තව දුරටත් ඔරිජිනල් නෙවෙයි. අපි ඇතුලේ හිටපු ඔරිජිනල් "අපි" අපිව දාල ගිහින්.



ගුග්ල් වලින් සොයා ගත් පින්තුරයක්. 
I'm Simply Me and that is all I need to be යනුවෙන් සඳහන් වී ඇත. 


29 comments:

  1. කාලානුරූපව අප වෙනස් වීම වලක්වන්න බැරිවුණත්, මුල් ම අපේ වැදගත් දේ තාමත් අප එක්ක ඉන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් වෙනස් වෙලා නෑ තමයි රසික, ගොඩක් වෙලාවට පොඩි කාලේ අපිට හුරු කරපු පුරුදු, හොඳ සහ නරක වැඩිය වෙනස් වෙලා නෑ තමයි. හැබැයි අපි ඒ ඉතිරි වෙලා තියෙන දේවල් පවා පාවිච්චි කරන්නේ අනුන්ගේ ප්ලෑන් එකක් ඇතුලේ නිදහසේ ජිවත් වෙන්න මිසක් අපිට අවංකවම ඕනේ වෙලා තියෙන නිදහස් ජිවිතේ ගෙවන්න නෙවෙයි..

      වැඩේ කියන්නේ අපි විහින් ම බලෙන් ගිහින් හිර වෙච්ච ප්ලෑන් එකකට වෙලා අපිම දුක් වෙනවා.. හෙහ් හෙහ්..

      Delete
    2. පැතුම්ට අවංකවම ඕනෑ වෙලා තියෙන නිදහස් ජීවිතේ මොකක්ද?

      Delete
    3. අපි ජිවත් වෙන කාලයෙක් හරි අඩක් අනුන්ගේ ප්ලෑන් එකක් ඇතුලේ ගෙවන එකෙන් නිදහස් වෙන්න. හෙහ් හෙහ්..

      මේක ප්‍රායෝගික දෙයක් නෙවෙයි කියල මම දන්නවා. හැබැයි සමහර පොඩි පොඩි දේවල් වලින් මේ ගතිය මග හරවා ගන්න පුළුවන් කියල මට හිතෙනවා. පුර්ණ නිදහස නොවෙතත් එදිනෙදා ජීවිතය මිට වඩා ඵල දායි විදියට ගෙවන්න පුළුවන් වෙන විදි තියෙනවා.

      මට එහෙම හිතෙන දේවල් කීපයක් තමයි තමුන්ගේ උපන් හැකියාව හොයාගෙන එකෙන් ජිවත් වෙන්න මාර්ගයක් හොයා ගැනීම, තව එකක් සමාජ සේවා හෝ පුණ්‍ය ක්‍රියා සඳහා කාලය යෙදවීම..

      මම තාම ඔය එකක් වත් නොකිරීම නිසා මට මෙහෙම හිතෙනවා ඇති.. හෙහ් හෙහ්

      Delete
  2. හැම දෙනෙක්ගෙම වගේ කථාව පැතුම් ලියලා. ඇතුවත් බැරි නැතුවත් බැරි සමාජය සමඟ භජනය. ආයිමත් 'මම' මතු වෙනකොට හොඳම කාලය ගිහින් තියෙයි. මේකෙන් ගැලවිල්ලක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අපිට ඇත්තටම ඕනේ කමක් තියෙනවනම් ගැලවෙන්න බැරිත් නෑ ඉයන්.. අපි ඔහේ යන්නම් වාලේ යනවා.

      Delete
  3. උඹට අයිස් කඩන්න ඕනද?? මරු ලිපියක් පැතුමා... ඉතා සාමාන්‍ය ගැටුම් නේද??

    ReplyDelete
    Replies
    1. [උඹට අයිස් කඩන්න ඕනද??] ජොබ් එකක් විදියට අයිස් කඩන එකක් ගැන ද උඹ මේ කියන්නේ..

      හැමදාම තියෙන සාමාන්‍ය ගැටුම් ටික තමයි බන්.. හෙහ් හෙහ්

      Delete
  4. මම කියල කෙනෙක් නෑ කියල හිතෙන්නෙ නැද්ද? පුංචි කාලෙ අම්මට තාත්තට ලොකු අය්යලට අක්කලට මම යටයි ඊට පස්සෙ කෙල්ලට යටයි ඊටත් පස්සෙ පවුලට යටයි ඊටත් පස්සෙ පවුලටයි ලමයින්ටයි යටයි ඊටත් පස්සෙ ලමයින්ගෙ ලමයින්ටත් යටයි... අන්තිමට පස් යටයි.. කෝ මම ? මං මේ මම හොයන්න ඇවිත් තාමත් හොයනවා.
    සරත් ලංකාප්‍රිය

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඒ කතාව හරි. හිතන එකත් තේරුමක් නැති වැඩක් කියලත් හිතෙනවා. හැබැයි ඉතින් ඔක්කොටොම වඩා මේ කොහෙවත් ඉන්න රොබෝ ලා වගේ උන් ටිකකට යට වෙලා ඉන්න එක අමාරුයි.. හෙහ් හෙහ්

      Delete
  5. ගිනියම් ඉර - සඳ සිසිලස - අතරේ හොයනවා හොයනවා මේ - අපි කවුරුද (වායෝ)

    ReplyDelete
    Replies
    1. මම ඔය සිංදුව අහල නෑ මල් මල්ලි..

      Delete
  6. පට්ටම පට්ට ලිපියක් Pathum Herath.....මතක හිටින පෝස්ටුවක්.ඔව් බන් අපි අපි හොයනකොට සමහර වෙලාවට මම කියන්නේ කව්ද කියලා අමතක වෙනවා,සමහරතැන් වල ජීවත් වෙන්නෙ මම නෙවෙයි කියලා හිතනවා.කොහොමත් මම මොන තැනක් හිටියත් මම මම වෙනුවෙන් ජීවත් වෙනවා.සමහර විට ඒ හොදම දේ නෙවෙන්න පුළුවන්. ඒත් අවස්ථානූකුලව උපරිමයෙන්ම මම විසින් මම තෘප්තිමත් කරන්න වෙහෙසෙනවා.

    "ගිනියම් ඉර - සඳ සිසිලස - අතරේ හොයනවා හොයනවා මේ - අපි කවුරුද"
    ඔව් ඒක හැබෑවටම හොයන්න ඕන එකක්

    ReplyDelete
    Replies
    1. රෝමා, සමහර වෙලාවට අපිට අනුන් වෙනුවෙන් ජිවත් වෙන්න සිද්ද වෙනවා. ඒක වැරදි නෑ. අපි අපි ගැනම හිතන්න ගියොත් කාලයක් යද්දී අපිට අනුන් ගැන තියෙන සංවේදී කම නැති වෙලා යනවා.

      මම අදහස් කරන්නේ අපි රස්සාවක් නිසා අපිට තියෙන වටිනා කාලය නාස්ති කර ගන්න එක ගැන. ඒක අපිට ලේසියෙන් බිඳින්න පුළුවන් දෙයක්. හැබැයි මොකක් හෝ මෙන්ටල් බැරියර් එකක් නිසා ඒක බිඳ ගන්න බැරිව ඉන්නවා.

      ටික කාලෙකින් අපි නොදනිම හිස් චරිත බවට පත්වෙනවා.. හෙහ් හෙහ්

      ඔය සිංදුව අහල බලන්න ඕනේ..

      Delete
  7. මම ට්‍රයි කරනවා ඇත්ත මම විදියට ඉන්න...
    මම වඩාත් කැමති තැන ඉඳගෙන වඩාත් කැමති රස්සාව කරන්නේ ඒ නිසයි.
    හැබැයි ඒක ඇතුලේ ඉඳන් වුණත් මම වෙනුවෙට වෙනත් කෙනෙක් වෙන්න වෙනවා....
    මරු සටහනක්

    ReplyDelete
    Replies
    1. උඩුවා,

      තමුන් වඩාත් කැමති තැන ඉඳගෙන වඩාත් කැමති රස්සාව තමුන්ට නිදහසේ කරන්න පුළුවන් නම් ඇත්තටම ඒක හෙන වාසනාවක්.

      මම අදහස් කරන්නේ අපි කැමති රස්සාව උනත් වෙන කෙනෙකුගේ ප්ලෑන් එකකට, තව මනුස්ස්යෙකුගේ හිත සතුටු කරන්න අපේ නිදහස සහ අපේ හැකියාවන් නාස්ති කරන එක ගැන.

      ටික කාලෙකින් අපි නොදැනුවත්වම යාන්ත්‍රික වෙලා යනවා. කාලයක් ගිහිල්ල ආපහු හැරිලා බලද්දී කරපු දෙයක් නැති බව දැනෙනවා. අන්න ඒ ගතිය නොදැනෙන්න වැඩ කරන්න ඕනේ කියන එකයි මම අදහස් කරන්නේ..

      මේක එක හරි උත්තරයක් තියෙන බහුවරණ ප්‍රශ්නයක් නෙවෙයි. හරියට කල්පනා කරලා හොඳට ගලපලා ලියන්න ඕනේ රචනා ප්‍රශ්නයක් වගේ.. හෙහ් හෙහ්..

      Delete
  8. අදනම් යාන්ත්‍රික නොවී ඉන්න පුළුවන් වෙන්නේ කැලෑ වැදී වනචාරී ජීවිතයක් ගතකලොත් පමණයි.

    ReplyDelete
    Replies
    1. නෑ විචා යාන්ත්‍රික වීම ඒ හැටි ලොකු වරදක් නෙවෙයි. මම අදහස් කරන්නේ අපි ඒ යන්ත්‍ර වගේ වැඩ කරන්නේ ඇත්තටම අපිට ඕනේ දේ වෙනුවෙන් ද කියන එක ගැන.

      මේ කාලේ ලෝකයේ ස්වභාවය යාන්ත්‍රික වීම තමයි. දැන් ඇත්තටම යාන්ත්‍රික නෙවෙයි ඉලෙක්ට්‍රොනික. හැබැයි ඒ මොකක් වුනත් අපි එක කරන්න ඕනේ අපේ ඇතුලෙන් අවංකව එන හැඟීම්/ අදහස් වලට හරි යන්න. වෙන කෙනෙකුගේ ප්ලෑන් එකකට නෙවෙයි..

      හෙහ් හෙහ් මටත් විකාරයි වගේ දැන්.. හෙහ් හෙහ්

      Delete
  9. "අන්තිමේදී තමන්ට පිහිට තමන් තුල ඉන්න "මම"" සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. මේ ලෝකේ තියෙන ලෝක සත්‍යතා වලින් එකක් තමයි ඕක. හෙහ් හෙහ්

      Delete
  10. ඔතන 'ඔරිජිනල් අපි' කියල කිව්වට 'ඔරිමජිනල්' අපි අපිට කවදාවත් මුණගැහෙන්නේ නැහැ නේද පැතුම්? තමන් කැමති දෙයක් කාල, කැමති දෙයක් කරන කෙනාම 'ඔරිජිනල්' අපි වෙන්නේ නැහැ නේද? තර්කයක් නැතුව යමක් කරනවා කියන්නේ ඔරිජිනල් කමද? මට ජේදයක් ගානේ ප්‍රශ්නපත්තර තුනක් හතරක් එනවා.

    ඔව්... මටත් එක මොහොතකදී දැනිල තියෙනවා ඇත්ත මගෙත්, ඒ මොහොතේ ඉන්න මගෙත් අතර තියෙන ගැප් එක. මම නම් ඒ වෙනුවෙන් ක්‍රියා කරලා ඒ ගැප් එක අඩුකරගෙන තියෙනවා. සැමදේම විචල්‍ය නිසා එය කරන්න පුළුවන්. සමහර වෙලාවට කරන්න තියෙන්නේ බොහොම පොඩි වෙනසක්.

    මහන්සි අරිනවා කියන එකත් නිර්වචනය කරන විදිය අනුව වෙනස් වෙනවා නේද? සමහරු මහන්සි අරිනවා කියන්නේ ඔහේ ඉඳීම. මම නම් කියන්නේ තමන් ආසම ආස දෙයක ඇලී ගැලී ඉන්නවා කියන එක. එතැනදී මගේ මහන්සි ඇත්තටම යනවා. ඔහේ හිටියාම මම 'ලොස්ට්' වෙනවා සිතුවිලි අතරේ. ඒක අළුත් අළුත් දේවල් පරිකල්පනයට ආයෝජන කලාපයක්. ඉතිං ඊට පස්සේ ඒ පරිකල්පන හරහා ආයෙමත් 'බිසී' වෙනවා...!

    ලියන්න ඕනේ මේ ගැන!!

    ReplyDelete
    Replies
    1. ලිඛිතා බ්ලොග් එකක් ලියනවා ද? ඉස්සෙල්ල එක දෙන්න බලන්න.

      [ඔතන 'ඔරිජිනල් අපි' කියල කිව්වට 'ඔරිමජිනල්' අපි අපිට කවදාවත් මුණගැහෙන්නේ නැහැ නේද?]

      හිතල බැලුවොත් අපි යමක් අලුතින් නිර්මාණය කරද්දී නැත්නම් අලුතින් දෙයක් හිතද්දී අපි ඔරිජිනල් වෙනවා. අපේ අදහස් ඔරිජිනල් වෙන්නේ අපි ඔරිජිනල් උනාම කියල මම හිතන්නේ.. නිකන් හිතල බලන්න ලෝක ප්‍රසිද්ධ නිර්මාණ ඒ තත්වයට පත්වෙලා තියෙන්නේ ඒක නිර්මාණය කරපු කෙනාගේ අනන්‍ය ගතිය කොච්චරක් දුරට එකේ තියෙනවද කියන එක මත.

      ඒ ගතිය නැති වෙනවා වෙන වෙන agenda වලට කරපු නිර්මාණ වලදී.. මොකද හිතන්නේ ඒ ගැන..


      [ඇත්ත මගෙත්, ඒ මොහොතේ ඉන්න මගෙත් අතර තියෙන ගැප් එක]

      මේ ගැප් එක සාපේක්ෂ දෙයක්. ඔබ ඉන්න පරිසරය සහ ඇසුරු කරන පුද්ගලයින් මත මේ ගැප් එක ලොකු කුඩා වෙනවා. උදාහරණයක් විදියට හොඳම යාලුවෝ සෙට් එකක් එක්ක ෆුල්ම ෆන් එකක් ගනිද්දී අපිට කවදාවත් මෙහෙම ගැප් එකක් ගැන දැනෙන්නේ වත් නෑ.. හෙහ් හැබැයි උදේට වැඩට ගිය ගමන් ගැප් එක උපරිමයි..

      ගැප් එක අඩු කරගන්න ඔෆිස් එකේදී පිස්සු කෙලින්න බෑනේ.. හැබැයි අපිට පුළුවන් ඔෆිස් එකේදී ආතල් එකේ වැඩ කරලා ඔය ගැප් එකක් ගැන තඹ සතේකට මායිම් නොකර ඉන්නත්. එකත් ඒ පරිසරය අනුව වෙනස් වෙනවා.. හෙහ් හෙහ්

      [සමහරු මහන්සි අරිනවා කියන්නේ ඔහේ ඉඳීම. මම නම් කියන්නේ තමන් ආසම ආස දෙයක ඇලී ගැලී ඉන්නවා කියන එක]

      හරියට ඔහේ ඉන්නවා කියන එක හෙන වැදගත් දෙයක්. අපිට තියෙන ලොකුම අවුල අපි හරියට ඔහේ ඉන්න නොදන්නා කම.


      ලියන්න බලන්න ලිඛිතත් එකක්.


      Delete
  11. පැතුම්, මම ඇතුලේ "මම" හොයාගන්න පුලුවන් වෙන්නේ "මම" ඇතුලේ ඉන්න මම කියන කෙනාටම තමයි මම හිතන්නේ....

    ReplyDelete
    Replies
    1. අහම්බෙන් ඇහුවේ මේ වැඩසටහන..

      https://www.youtube.com/watch?v=ccfyf6vYtCY

      Delete
    2. නිම්නයක තනි වී හීන දකින්නී, මම අලුතින් හොයනවට වඩා ඇත්තටම අපි ඇතුලේ හිර වෙලා ඉන්න "මම" ට නිදහසේ ඉන්න ඉඩ දෙන්න ඕනේ කියලයි මම හිතන්නේ.. හෙහ් හෙහ්

      අර ප්‍රෝග්‍රෑම් එක මරු එකක්. බලන ගමන් මේක ලියන්නේ.. බොහොම ස්තුතියි ලින්ක් එකට.

      Delete
  12. පහෙන් පහට පහෙන් පහට
    ජීවිතේ වෙනස් කරගන්න
    පොඩි සැලැස්මක් ආත්ම ශක්තියක් විතරයි ඕනේ
    හෙවනැල්ලක් වගේ 'මම' පස්සෙන් එයි
    ගොඩක් කල් එක තැන හිටියම 'මට' 'මම' එපාවෙනවා
    ඒකයි වෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. තිස්ස අයියට ගානට root cause එක අහු වෙලා තියෙනවා. 100% ඇත්ත ඔය කතාව. මම වැඩ කරපු අවුරුදු 12ට මේ දැන් ඉන්නවා වගේ සීමාකාරී වෙච්ච පරිසරයක ඉඳලම නෑ.. මේ ගතිය වැඩියෙන් ම දැනෙන්න හේතුව එකයි..

      අවුරුදු 12 දී කොම්පැනි 4ක වැඩ කළා. මේ 4 වෙනි එක ඇති වෙලා තියෙන වෙලාව හෙහ් හෙහ්..

      Delete
  13. දැන් තියෙන තත්වෙ හැටියට මම කියන විදියට ජීවත් වෙන්න සෑහෙන අපහසුයි. ඒත් උත්සාහයක් කළොත් ටිකක්වත් මට ඇහුංකන් දෙන්න බැරි වෙන එකක් නෑ.

    නැත්තං වෙන්නෙ පාංගෙඩියක් හිල් කරල මම ඒක ඇතුලට දාල ඕං මම ගියා කියල කුණු බාල්දියට දාන්න තමයි. හැක්..

    ReplyDelete
    Replies
    1. [දැන් තියෙන තත්වෙ හැටියට මම කියන විදියට ජීවත් වෙන්න සෑහෙන අපහසුයි]

      ප්‍රසන්න හැබැයි ඇත්ත කතාව නම් ඔය "මට" ඕනේ විදියට කඩාගෙන ගිය උන් තමයි බන් දැන් ලෝකේ ඉන්න ලොකුම සල්ලි කාරයෝ වෙලා ඉන්නේ.. අපි වගේ හිර වෙච්ච ඩයල් නෙවෙයි.


      පාන් ගෙඩියක් දැන් කියද ඔහේ..? පාන් ගෙඩියක් කුණු බක්කියට දාන්නත් ලේසි නෑනේ හෙහ් හෙහ්...

      Delete